යාන් ඔය; යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ

පෙබ 02, 2019

    යාන් ඔය වාරි ව්‍යාපෘතියේ නැවත පදිංචි කිරීම් සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කර තිබේ.

    අලුතින් ඉඩම් අක්කර විසි දහසක් සංවර්ධනය කරමින්, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට පානීය ජලය හා වාරි පහසුකම් සැපයෙන මෙම ව්‍යාපෘතිය, උතුරු මැද පළාතේ ක්‍රියාත්මක විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වේ.

    සමස්ත ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 5,900ක්. ප්‍රධාන ජලාශයේ සියලු ඉදිකිරීම් මේ වනවිට අවසන්. දකුණු සහ වම් ඉවුරු ඇල පද්ධති, මෙන්ම කෙත් ඇල මාර්ගවල ඉදිකිරීම් ද කඩිනමින් සිදු කෙරෙමින් පවතී.

    ජලාශයට ඉඩම් අක්කර දස දහසක් යටවූ අතර, ඉන් අක්කර හාර දහසක් ජනතාවගේ ඉඩම්. අනෙක් අක්කර හය දහස රජය සතුවේ. අවතැන්වූ ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම් සහිත නව ගම්මාන 4ක් මල්පෝරුව, කජුවත්ත, ඕමාරකඩ සහ වාහල්කඩ යන ප්‍රදේශවල ඉදි කෙරේ.

    ජලාශයට යටවූ ආගමික ස්ථාන වෙනුවෙන් නව ආගමික සිද්ධස්ථාන ඉදි කෙරෙන අතර, ඊට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවයි. නව පාසල් කිහිපයක් ද ඉදිකර අවසන්.

    වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙනුවෙන් යාන්ඔය අසබඩ නව සංචාරක නිවහනක් ද ඉදිකර තිබේ. ඒ, චීනයේ සී.එම්.ඒ.සී. ආයතනයේ දායකත්වයෙන්. ගම්බිම් අහිමි ජනතාව සඳහා ගොඩ ඉඩම් අක්කරයක් සහ මඩ ඉඩම් අක්කර එකහමාර බැගින් ලබාදීමට නියමිතයි.

    යල-මහ දෙකන්නයට අමතරව තවත් අතිරේක කන්නයක්ද වගා කළ හැකි අතර, ඒ අනුව වගා තීව්‍රතාව 2 දක්වා ඉහළ යන බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News