පින්නවලට අමුත්තන් දෙදෙනෙක්

පෙබ 16, 2019

    පින්නවල එළිමහන් සත්වෝද්‍යානයට තවත් අලුත් අමුත්තන් දෙදෙනෙකු එක්ව සිටී.

    ඒ වලස් පවුලේ පැටවුන් දෙදෙනෙක්. නව සමාජිකයන් දෙදෙනාත් සමඟ පින්නවලදී වලසුන් සිව් දෙනෙකු දැකගත හැකියි. ඉකුත් වසරේ දී දෙස්-විදෙස් සංචාරකයින් තුන් ලක්‍ෂයකට වැඩි පිරිසක් සත්වෝද්‍යානය නරඹා ඇති අතර, ඉන් උපයා ඇති ආදායම රුපියල් කෝටි 30කට අධිකවේ.පින්නවල එළිමහන් සත්වෝද්‍යානයට ජනතාවගෙන් ඇත්තේ, ඉහළ ප්‍රතිචාරයක්.

    ඒ, ඇතැම් සතුන් ආසන්නයටම ගොස් එම සතුන් ස්පර්ශ කරමින් විනෝදවීමට අවස්ථාව හිමිවීම නිසයි. සත්වෝද්‍යානයේ නව සංවර්ධන නැරඹුම් අංශය සඳහා කුරුළු උයන, සමනළ උයන, උරග අරණ සහ වඳුරු අරණ ද ඇතුළත්වේ. මීට පෙර පැවතියේ දිවි අරණ, මුව අරණ සහ කිමුන් අරණ පමණයි. සත්වෝද්‍යානයට අලුතින් එක්වූ බෙනී සහ බනී යන වලස් පැටවුන් දෙදෙනා ද වැඩි දෙනෙකුගේ විශේෂ අවධානයට ලක්ව තිබේ. බෙනී අවුරුදු එක හමාරක පිරිමි සතෙක්. උපත ලැබුවේ, දෙහිවලදී. බනීගේ වයස අවුරුදු 3ක්. ඌ වනයෙන් අල්ලාගත් පැටවෙක්.

    වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සංරක්‍ෂණය කර පැටවුන් බෝකර යළි වනයට මුදා හැරීමේ වැඩපිළිවෙළක් ද මේ වසරේ සිට ආරම්භ කිරීමට නියමිතයි. උණහපුලුවා, කබැල්ලෑවා සහ කටුසු විශේෂ සංරක්‍ෂණ කටයුතු මේ වනවිටත් සිදු කෙරේ. රුපියල් අනූ ලක්‍ෂයක වියදමින් පින්නවල සත්ව රෝහලක් ද ඉදිකර තිබේ. සංචාරකයින්ගේ ඉහළ ආකර්ශනයක් ලබාගැනීම සඳහා පින්නවල එළිමහන් සත්වෝද්‍යානයට තවත් අංග ගණනාවක් එක් කෙරෙමින් පවතී.

    Latest News