ජනපතිට, ‍බ්‍රිතාන්‍ය අගමැතිගෙන් පැසසුම්...

සැප් 02, 2022

    ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා සියලු පාර්ශ්ව ඇතුළත් රජයක් පිහිටුවීමට ජනාධිපති ‍රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සහය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතාගේ පැසසුමට ලක්ව තිබෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නායකයා ලෙස පත් වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියක් අපේක්ෂා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සාර්ථකත්ව‍ය බවයි. ශ්‍රී ලංකාව සඳහා බ්‍රිතාන්‍ය රජයේ අවංක කැපවීම නැවත අවධාරණය කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, මෙරට වර්තමාන ආර්ථික හා සමාජයීය අභියෝගවලදී බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකීය ජනතාව සමග අඛණ්ඩව කටයුතු කරනු ඇති බවයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතුවලදී ජනාධිපතිවරයාට ඉක්මන් සහ ධනාත්මක ප්‍රගතියක් අත් කර ගැනීමට හැකි වනු ඇතැයි, විශ්වාසය පළ කර ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා තම ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සම්බන්ධ වීමට සූදානම්ව සිටින බවත්, අවධාරණය කර තිබෙනවා. මේ මාසයේ පැවැත්වෙන 51 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල ප්‍රවේශයේ වෙනසක් ඇති කිරීමට ශ්‍රී ලංකා රජයට හැකි වනු ඇති බවත්, බොරිස් ‍ජොන්සන් මහතා පවසනවා.

    මෑතකදී ප්‍රකාශයට පත් කෙරුණු සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය පිළිබඳ සිහිපත් කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා, එක්සත් රාජධානියට අපනයනය කරන සමස්ත භාණ්ඩවලින් අතිමහත් බහුතරයක් සඳහා තීරු බදු රහිත ප්‍රවේශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබී ඇති බවද සඳහන් කරනවා. මෙරට ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යන විට වෙළෙඳාම සහ ආයෝජන ඉහළ නැංවීම සඳහා තවත් අවස්ථා සොයා ගනු හැකි වනු ඇතැයි ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව සිය 75 වැනි නිදහස් සංවත්සරය සමරන විට දෙරට අතර වඩා ගැඹුරු සහ ශක්තිමත් හවුල්කාරීත්වයක් තවදුරටත් ගොඩනගා ගැනීමට හැකි වෙතැයි තමා විශ්වාස කරන බවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වනවා. 

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිංගප්පූරු ජනාධිපති හලීමා යාකොබ් මහත්මිය සුභ පැතුම් එක්කර තිබෙනවා. ඒ, වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන්. ශ්‍රී ලංකාවේත්, එහි ජනතාවගේත් උන්නතියට ගන්නා සියලු පියවර සාර්ථක වේවායි, විශේෂ සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සිංගප්පූරු ජනාධිපතිනිය සඳහන් කරනවා. එරට 57 වැනි ජාතික දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යොමු කළ සුභ පැතුම් පණිවුඩයකට ද ඇය ස්තූතිය පිරිනමා තිබෙනවා.

    Latest News