ලෝක පොල් දිනය අද ...

සැප් 02, 2022

    ලෝක පොල් දිනය  අදට යෙදී තිබෙනවා.

    ඒ වෙනුවෙන් සැමරුම් වැඩසටහනක් " පොල් වගා කිරීමේ මණ්ඩලය" සංවිධාන කර තිබුණා.  ජාත්‍යන්තර පොල් ප්‍රජාව පිහිටුවීම නිමිතිකර ගෙනයි, සෑම  වසරකම සැප්තැම්බර් 02වැනිදා ‍ලෝක පොල් දිනය සැමරෙන්නේ.  ඒ යටතේ හොදම පොල් වගාකරුවා තේරීම  සඳහා "කප්රුක අභිෂේක" වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. වැඩසටහන කාණ්ඩ 4 ක් යටතේයි,  දිවයිනපුරා පැවැත්වුණේ.  

    එහි ජයග්‍රාහිකයින්ට තිළිණ හා සහතිකපත්‍ර ප්‍රදානය අද සිදු කෙරුණා. ඒ, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවර උත්සවය සංවිධාන කර තිබුණේ,  ගාල්ල දිස්ත්‍රික්කයේ. වැඩසටහනේ දී පොල් වගාකරුවන්ට දෙමුහුන් වර්ගයේ පොල් පැළ හා සහනාධාර චෙක්පත් පිරිනැමුණා. පොල් ආශ්‍රිත කර්මාන්තයේ නියැලී සිටින ව්‍යසායකයින්ට යන්ත්‍රොපකරණ ලබා දීම  ද මෙහිදී සිදු කෙරුණා. තත්වයෙන් උසස් පොල් පැළ 40,000 ක් දිවයින පුරා පොල් වගාකරුවන්ට ලබා දීමටයි, පියවර ගෙන තිබුණේ.

    මෙරට තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටද වැඩි අවධානයක් යොමු කළ යුතු බව, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී කියා සිටියා. මෙරට තේ සඳහා ලෝක වෙළෙඳපොලේ ඉහළම ඉල්ලුමක් පවතිනවා.  එබැවින්, නිෂ්පාදන ඵලදායීතාව වැඩි කළ යුතු බවයි, අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.   ගුණාත්මක තේ දළු නෙලීම සහ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ තේ කර්මාන්තයේ නිරත වූවන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එය, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණා.

    Latest News