ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක්

පෙබ 24, 2019

    අපේ රජය බලයට පත්වූ අවස්ථාවේ දී ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් හදලා දැන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම් වන විට ග්‍රාම නිලධාරීන් සේවා ව්‍යවස්ථාවක් ඉල්ලලා වර්ජනය කරන්න හදනවා.

    මේවා දේශපාලන වාසි බලාගෙන කරන්න හදන වැඩක්. යැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (23) ගාල්ලේ දී පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුතෙන් ඉදිකරන ලද නිල සෙවණ කාර්යාල තුනක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    අමාත්‍යවරයා එහි දී මෙසේ පැවසීය.
    “අපේ රජය බලයට පත්වෙලා ගතවුණේ අවුරුදු තුනයි. මම ස්වදේශ කටයුතු අමාත්‍යයවරයා වූ අවස්ථාවේ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති කැඳවලා සාකච්ඡා වට ගණනාවක් තියලා ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් හදන්න ආරම්භ කළා. දැන් ඒ කටයුතු අවසන් කරලා තිබෙනවා. ඉදිරි දින කිහිපයේ දී මේ සේවා ව්‍යවස්ථාව අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන්න සියල්ල සූදානම් කරලා තියෙද්දී එක්තරා ග්‍රාම නිලධාරීන් පිරිසක් වැඩ වර්ජනයකට සූදානම් වෙනවා. ග්‍රාම නිලධාරීන්ට වර්ජන කරන්න බැහැ. ඔවුන් සාම නිලධාරීන්.

    1961 දී මේ සේවාව ආරම්භ කරලා අවුරුදු ගණනාවක් ගත වුණාග විෂය භාර ඇමතිවරු රැසක් හිටියා ජනාධිපතිවරු කිහිප දෙනෙක් හිටියා. ඒ කාලවල සේවා ව්‍යවස්ථාවක් ඉල්ලලා කවුරුවත් උද්ඝෝෂණ කළේ නැහැ. මම විෂය භාර ඇමතිවරයා බටව පත්වෙලා සේවා ව්‍යවස්ථාව හදලා එය සම්මත කරන්න සූදානම් වෙනකොට කට්ටියක් සූදානම් වෙනවා සේවා ව්‍යවස්ථාවක් ඉල්ලලා වර්ජන කරන. වර්ජන අවශ්‍ය නෑ අපි වැඩේ කරලා තියෙන්නේ. දේශපාලන වාසි බලාගෙන වර්ජනය කරලා අනවශ්‍ය කලබල කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා.

    අමාත්‍යවරයා එහි දී කියා සිටියේ ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡා වට රැසක් පවත්වා එය කෙටුම්පත් කළ බවයි. ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට සියල්ල සූදානම් කර තිබිය දී දේශපාලන වාසි බලාගෙන ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයන් අසත්‍ය කරුණු ප්‍රචාරය කරන බවත් අමාත්‍යවරයා එහි දී කියා සිටියේය.ගාල්ල කඩවත් සතර වැලිපත ග්‍රාම නිලධාරී වසම, කුඹල්වැල්ල දකුණ ග්‍රාම නිලධාරී වසම සහ ගල්වඩුගොඩ ග්‍රාම නිලධාරී වසම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 බැගින් රුපියල් ලක්ෂ 60ක් වැයකර ඉදිකරන ලද නිල සෙවණ, කාර්යාල තුනක් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් විවෘත කරන ලදී.

    Last modified on ඉරිදා, 24 පෙබරවාරි 2019 18:41

    Latest News