සුරා බදු කොමසාරිස්ට විදේශ ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලා මෝසමක්

ඔක් 08, 2024
    අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ පා සිටින සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු වග උත්තරකාර නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් විදේශගත වීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබේ.

    නිට්ටඹුව ප්රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද ප්රනාන්දු මහතා විසින් මෙම මෝසම ඉදිරිපත් කළ අතර එහි වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි, එහි අතිරේක අධ්යක්ෂ ජනරාල් වරුන් වන ඒ. එම්. පී. අරම්පත් සහ නියෝජ්ය සුරාබදු කොමසාරිස්වරුන් වූ කේ, ධර්ම සීලන් සහ සී.ජේ.ඒ. විරක්කොඩි යන අය නම් කරනු ලැබ සිටිති.

    නීතියට පටහැනි ලෙස අලුතින් මත්පැන්හල් බලපත්ර නිකුත් නොකරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් නොතකා කටයුතු කිරීම තුළින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඩුවම් පමුණුවන ලෙසත් ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට අදාළව මෙම මෝසම ඉදිරිපත් කර තිබේ.
     
    එම මෝසම තුළින් පෙත්සම්කරු සඳහන් කර තිබෙන්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට මුහුණපා සිටින වග උත්තර කරුවන් රටින් බැහැරවීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවයි.
     
    යම් හෙයකින් වග උත්තරකරුවන් රටින් බැහැර වුවහොත් මෙම නඩු කටයුතුවලට විශාල අගතියක් සිදුවිය හැකි එබැවින් ඔවුන්ට එරෙහිව විදේශගතවීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු සිය මෝසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
     

    Latest News