මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නි.කොමසාරිස් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්

ඔක් 08, 2024
    බස් රථ තුනක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ඇතුළු තිදෙනෙකු තවදුරටත් ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් පැවැත්වෙන බවයි.
    මෙම විමර්ශනයට අදාළව වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් එම නිලධාරින් දැනුම් දුන්නා.
    සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබෙන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.
    කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරුවන් ලබන 11 වනදා දක්වා තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළා
    මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අතර එම දෙපාර්තමේන්තුවේ බස්රථ පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්, එහි විෂය ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු ඇතුලත් වෙනවා.

    Latest News