බෝට්ටුවෙන් ඉන්දියාවට සිහිනය සැබෑ වෙයිද ?  

අගෝ 04, 2023

    වසර 37 කට පසු තලෙයිමන්නාරම ජැටිය ප්‍රතිසංස්කරණය කෙරෙනවා.

    පැවති යුදමය වාතාවරණයත් සමග ජැටිය දැඩි ලෙස විනාශ වී තිබුණා. ප්‍රතිසංස්කරණවලින් පසු මගී සංචාරක යාත්‍රාවලට පහසුකම් සැලසීමට එය භාවිතයට ගන්නා බවයි, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ.  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ජැටියේ ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි.

    ඊට රුපියල් මිලියන 1800 ක පමණ වැය වෙනු ඇතැයි, ඇස්තමේන්තු කර තිබෙනවා. එහි ප්‍රතිසංස්කරණවලට සමගාමීව ප්‍රථම අදියර යටතේ වරායේ යටිතල පහසුකම් ද වැඩිදියුණු කෙරෙනවා. ඒ සඳහා ජැටියට මායිම්ව ඇති රජය සතු ඉඩම්වලින් අක්කර 10 ක් අත්පත් කර ගැනීමට නියමිතයි. මෙම සංවර්ධන වැඩපිළිවෙළ යටතේ නවීන මගී පර්යන්තයක්, ගබඩා සංකීර්ණයක් ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටයි, සැලසුම් කර ඇත්තේ.

    රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ දෙස්-විදෙස් ආ‍යෝජකයින්ගේ අභිලාශ කැඳවීමට නියමිත බව, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.  තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා මගී යාත්‍රා සේවාවක් අතීතයේ පැවතියා. "රාමේෂ්වරම් වරාය සහ තලෙයිමන්නාරම අතර මගී යාත්‍රා සේවාවක් සදහා අවශ්‍ය අනුමැතිය ඉන්දීය රජය ලබා දී ඇති බවයි, වාර්තා වන්නේ. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද තලෙයිමන්නාරම ජැටියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අනතුරුව අමාත්‍යවරයා අදාළ ගැටලු සම්බන්ධයෙන් විවිධ පාර්ශව සමග සාකච්ඡාවකට ද එක් වුණා.

    Latest News